කාසියක දෙපස මෙන් ඕනෑම හොඳ දේක නරක දේවල් ද තිබේ. ඩ්‍රොප්ෂිපිංවල ඇති තවත් වාසියක් වන්නේ එහි ඇති අවාසි දෙස බලා පසු නොබා ඒවාට සූදානම් වීම තුළින් ඔබට සාර්ථකව ඊට මුහුණදිය හැකි වීම යි. එනිසා ඒවා අවාසි ලෙස හඳුන්වනවාට වඩා “බාධක” ලෙස හැඳින්වීමට අප කැමැත්තෙමු.
අඩු ලාභයක් ලැබීම
තනි නිෂ්පාදනයක් අලෙවියන් පසු ඔබට ඉන් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. පාරිභෝගිකයන් සමඟ කතාබහ/මැසේජ් කිරීමට, ඔවුන්ට භාණ්ඩය පිළිබඳ විස්තර පැවසීම සහ ගැටළු විසඳාදීම ආදියට ඔබට කාලය වැය කරන්නට සිදුවන අතර ඔබේම වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නේ නම් එයට ද මුදල් වැය කළ යුතු වේ. ඊට සාපේක්ෂව අදාල අයිතමයෙන් ලැබෙන ලාභය අඩු විය හැක.
FitSmallBusiness වෙබ් අඩවිය ලාභ ගණනය සඳහා ක්‍රමයක් පෙන්වා දෙයි. පොදුවේ ගත් කල, ඩ්‍රොප්ෂිපිං කරන්නන්ට ඔවුන්ගේ මූලික නිෂ්පාදන අලෙවියෙන් 20% ක් සහ පරිවර්තන අනුපාත (conversion rate) 2% ක් පමණ අපේක්ෂා කළ හැකිය. එවිට පහත සූත්‍රය ලැබේ.
ඇස්තමේන්තුගත ලාභය = (වෙබ් පිටුවට ලැබෙන පිවිසුම් ප්‍රමාණය x .02) x (ලැබෙන ඇණවුම් ප්‍රමාණයේ සාමාන්‍යය x .20)
උදාහරණයක් ලෙස, යමක් ඩොලර් 1000කට විකුණන්නේ නම්, සෑම අලෙවියකින්ම ඩොලර් 200ක් උපයා ගැනීමට බලාපොරොත්තු විය හැක. මසකට පුද්ගලයින් 1,000ක් අදාල වෙබ් පිටුවට පිවිසෙන්නේ නම්, එම පුද්ගලයින්ගෙන් 20 දෙනෙකු එම නිෂ්පාදනය මිලට ගනු ඇතැයි ඔබ ගණන් බලා ඇතැ යි සිතමු. එවිට, විකිණීම සඳහා ඩොලර් 200ක් සහ විකුණුම් 20ක් සිදුකර ඇත්නම්, ඔබට ඩොලර් 4,000ක් උපයා ගත හැකි බවට අනුමාන කළ හැකිවේ.
මෙයට විසඳුම වැඩිපුර අලෙවි කිරීම සහ විවිධ දේ අලෙවි කිරීම යි. යොදන ලද අවම ප්‍රාග්ධනය, විනිමය ලාභ (රුපියලට වඩා ඩොලරය වැඩිවීම) හේතුවෙන් ලාංකික ඔබට එතරම් ම අවාසියක් සිදු නොවනු ඇත.
ඉහළ තරගකාරීත්වය
ව්‍යාපාර ඇරඹීමට ඇති පහසු බව නිසාම අපේ රටේ මෙන්ම වෙනත් රටවලින් ද විශාල වශයෙන් මෙම කර්මාන්තයට ප්‍රවිශ්ට වීම නිසා දැඩි තරගකාරීත්වයක් පවතී. ඕනෑම ව්‍යාපාරය ස්වභාවය සහ සාර්ථකත්වය තරගය මත රඳා පවතී. රජයක් විසින් මිල නියාමන යොදා ව්‍යාපාරය සීමා කරන්නේ නැත්නම්, ව්‍යාපාර අතර තරගය නිසාම වැඩි ගුණාත්මක බවක් හොඳ මිලකට පාරිභෝගිකයාට ලැබේ.
මෙම තරගය ව්‍යාපාරිකයකු ලෙස ඔබට වාසියක් බවට පත් කරගත හැකියි. තරගකාරීත්වය වැඩිවන තරමට තරගයට මුහුණ දීමට නොහැකි අය හැලී යන නිසා හොඳ සේවා සැපයීමෙන් ඔබට හොඳ තරගකරුවකු විය හැක. ඉහළ ගුණාත්මක බවින් යුත් භාණ්ඩ, තරගකාරී මිල, වට්ටම් ලබාදීම, ඉක්මනින් ship කිරීම, මැසේජ්වලට හොඳින් ප්‍රතිචාර දැක්වීම යනාදිය ඊට යොදාගත හැකි උපක්‍රම වේ.
භාණ්ඩවල වරද ඔබ වෙත පැටවීම
සැපයුම්කරු තැපැල් කිරීමට ප්‍රමාද වීම, වැරදි භාණ්ඩ (ඇණවුම් පැටලීම්) හෝ පළුදු වූ භාණ්ඩ යැවුවහොත් එහි වරද ඔබ වෙත පැටවෙන අතර, Bad reviews ලැබුණු විට ඔබේ ගිණුමේ වටිනාකම පහත යයි. එසේම Return කිරීම්, භාණ්ඩ ලබාගෙන ඒවා නොලැබුණු බවට පැමිණිලි කිරීම් සිදුවුවහොත් පාඩුව සහ එහි වරද විඳදරා ගැනීමට සිදුවේ.
ඊට විසඳුම, එකම භාණ්ඩය වෙනුවෙන් තහවුරු කරන ලද (verified), හොඳ reviews ඇති, Tracking code සහිත අය වැඩි දෙනෙක් තෝරා ගැනීම සහ භාණ්ඩය තැපැල් කිරීමෙන් පසු එහි ප්‍රගතිය පිළිබඳව නිරන්තරව පරීක්ෂා කිරීම යි. නැතහොත්, ඔබ වෙත ලබාගෙන නැවත තැපැල් කිරීම කළ හැකි නමුත් ඉන් පාරිභෝගිකයාට භාණ්ඩ ලැබීම පමා වීම, එය වැළැක්වීමට ඔබ සතුව තොග තබා ගතහොත් විකිණීම් සිදුනොවීමේ අවදානම නිසා පාඩු සිදුවිය හැකි බව යනාදියට මුහුණ දීමට සිදු වේ.
විකිණීමට සුදුසු භාණ්ඩ වර්ග තෝරාගන්නේ කෙසේ ද?
ඩ්‍රොප්ෂිපිං ඇරඹීමේ දී මුහුණ දිය යුතු තවත් ගැටළුවක් නම් ඔබ විකිණිය යුත්තේ මොනවා ද යන්න යි.
නුසුදුසු හෙවත් ලාභ ලැබීමට අපහසු කාණ්ඩයන් වන්නේ,
- පෞද්ගලීකරණය වැඩි දෑ - ඇඳුම්, ස්ත්‍රී/පුරුෂ එක් වයස් කාණ්ඩයකට සීමාවූ දේවල් ආදිය. මේවා විකිණිම අපහසු ය.
- හැඟීම්බර දෑ - ආදරවන්තයින් අතර හුවමාරු කරන දෑ ආදිය. මේවා නිවැරදිව නොයැවුවහොත් Bad reviews ලැබේ.
- කාලයකට පමණක් සීමාවූ දෑ - නත්තල් හෝ හැලොවීන් අයිතම වැනි වසරේ එක් කාලයකට සීමාවූ දේවල් විකිණීමට එම කාලය එනතුරු බලා සිටිය යුතු අතර, ඉක්මණින් නොයැවීමෙන් ගැටළු ඇතිවේ.
- අලෙවියන් පසු සේවාව අවශ්‍ය දෑ - ඉලෙක්ට්‍රොනික අයිතම, හොස්ටිං වැනි අලෙවියෙන් පසු උපකාර කළ යුතු දේවල්, ක්‍රියාකාරීත්වය සඳහා වගකිව යුතු දේවල් නිසා විවිධ කරදර ඇතිවිය හැක.
ලාභ ලැබීමට පහසු භාණ්ඩ සඳහා උදාහරණ:
- පර්ස්, පාපිසි ආදිය - විවිධ විලාසිතාවන් ඇති නිසා තෝරාගැනීම් වැඩිය.
- ගෘහ භාණ්ඩ - විවිධාගීකරණයෙන් යුතු ය. පාරිභෝගිකයාට ඒවා හදිසියේ අවශ්‍ය නොවේ.
- නිවාස ආලෝකකරණ උපාංග - විවිධාගීකරණය, විශේෂිත වෙළඳ නාම සඳහා සීමා වීමක් නොමැති බව සහ බොහෝවිට යැවීමට ප්‍රමාද වීම එතරම් ගැටළුවක් නොවීම.
අනෙකුත් ව්‍යාපාර මෙන්ම ඩ්‍රොප්ෂිපිං ද ආරම්භ කිරීමෙන් පසු අඛණ්ඩ අවධානය ලබා දෙමින් පවත්වාගෙන යාම ඔබේ වගකීමකි. ව්‍යාපාර පිළිබඳ අවබෝධය මෙවන් තනි ලිපියකින් ලබාදීම අපහසු නමුත් නව රැකියා අවස්ථාවක් වෙනුවෙන් උනන්දු ඔබ වෙනුවෙන් සුළු හෝ සහයෝගයක් වන්නට හැකි වන්නට ඇතැ යි අපි අපේක්ෂා කරන්නෙමු.