ආයෝජන කියා කී විට විශාල ක්ෂේත්‍රයක් බව පැහැදිළිය. මෙහිදී කිසියම් ආයෝජනයක් කිරීමට අවශ්‍ය වටපිටාව නොතිබේ නම්, ආයෝජනය අසාර්ථක වන බව අමුතුවෙන් කිවයුතු නැත.
උදාහරණයක් සේ සුද්දා එංගලන්තයේ තේ වැව්වේ නැත. ඒ සඳහා උචිත දේශගුණය ඇති රටවල් වල තේ වැවීම කරන ලදී. ශ්‍රමය කුණු කොල්ලෙට ලබා ගැනීම ද එදින ඔවුන් සළකා බැලූහ. කෙමෙන් දියුණු වෙමින් පවතින රටක් වන ලංකාවට එදා ඒ තේ නිෂ්පාදනය කර ලාභ ලැබුවද අද තත්වය එසේ නැත. එනම් ඒ ආයෝජනයක් සඳහා වන වටපිටාව ද කාලීනව වෙනස් වන බව පෙනේ.
ලංකාවේ ආයෝජනයක් කෙරෙන්නේ නම්, මෙන්න මේ වටපිටාව සහ ලංකාවේ වර්තමාන තත්වය ගැන සිතීම වටී.
කිසියම් සංවිධානයකින් 2019 වසරේ අග භාගයේ කරන ලද සංඝනනයකදී, විදේශ සංචාරය සඳහා ලෝකයේ යෝග්‍යම රට ලංකාව බැව් කියැවිණි. මෙය ආයෝජනයක් කරන්නට අදහස කරන කෙනෙක්ට හොඳ ආරංචියකි.
එසේ හෙයින් අද දින ලංකාවේ කල හැකි හොඳම වර්ගයේ ආයෝජනය ක් වන්නේ විදේශීය සංචාරකයන් සම්බන්ද හෝටල් ක්ෂේත්‍රය වේ. මෙහිදී එවැනි හෝටලයක් තැනීමක්ම අදහස් නොකෙරේ. එහෙත් එවැනි හෝටල්වලට අවශ්‍ය විදේශ සංචාරකයන් එම හෝටල්වලට හඳුන්වා දීමෙන්, හෝටලයෙන් ඒ සඳහා මුදලක් ලබා ගැනීමට හැකි වීම සහ ඒ සංචාරකයන්ට මඟ පෙන්වීමෙන් මුදල් සෙවීම ලාභදායි ව්‍යාපාරයකි.
එපමණක් නොව තවත් ටිකක් ඈතට ගියහොත්, මේ සංචාරකයන් සඳහා කැලෑවල් වල තාවකාලික කූඩාරම් තනා දීම වැනි දෑ, කෙනෙක් හිතනවාට වඩා මුදල් ලැබෙන ක්‍රම වේ. මෙවැනි කූඩාරම් චීනයෙන් ආනයනය කල හැක. එසේත් නැත්නම් මැදපෙරදිග යන කෙනෙක් හරහා මේ ආකාරයේ කූඩාරම් මිළදී ලංකාවට ගෙන්නා ගැනීමට හැකියාව ඇත.
එවැනි කූඩාරම් වලට රාත්‍රී ආලෝකය සැපයීමද මේ කාලයේ එම ක්ෂත්‍රයේ කෙරෙන තවත් දෙයකි. ඒ සඳහා මිළ අධික විශාල ජනක යන්ත්‍ර කිසි සේත්ම මේ කාලයේ අවශ්‍ය නැත. ඉතා කාර්යක්ෂම LED ලයිට්ස් සහ ඊට අවශ්‍ය බැටරි තිබේ නම්, මේ කාර්යය පහසුවෙන් කරගත හැක.
අනාගතයේ අපිට දකින්නට ලැබෙන වාහන වේගයෙන් විදුළි වාහන බවට පත්වීම යතාර්ථයකි. ලංකාවේ එසේ නොවන්නේය කියා කෙනෙක් කරන තර්කය නිෂ්ඵලය. මක්නිසාදයත්, පැරණි ෆොසිල ඉන්ධන වාහන වල නඩත්තුව සහ උපාංග මිළ වැඩි වෙමින් යන හෙයිණි. එසේ හෙයින්, පාරේ වැඩිවන විදුළි වාහයන ආරෝපණය කිරීම සඳහා ආරෝපණ මධ්‍යස්ථාන ඉදි කිරීම ගැන සිතීමත් හොඳ ආයෝජනයකි.
ඒ සඳහා රුපියල් ලක්ෂ ගණන් වටිනා සීඝ්‍ර ආරෝපිත වාහන මධ්‍යස්ථානම අවශ්‍ය නොවේ. කෙනෙක්ට සූර්ය පැනල වැනි පුනර්ජනනීය බල ශක්තියෙන් ක්‍රියාත්මක වන ‘සෙමෙන් ආරෝපණය’ වන ආරෝපිත ස්ථාන වුවද යම් ආයෝජනයක් වන්නට පුළුවන. කෙලින්ම එයින් මුදල් නොලැබුනද, එවැනි මධ්‍යස්ථාන ලංකාවේද සමහර කුඩා හෝටල් වල ඇත. එනම් ඔවුන් ඒ ව්‍යාපාරය සමඟ බද්ධ වන තැනැත්තාට, ඔහුගේ විදුළි වාහනය නොමිලේ ආරෝපණය කර දෙනු ලැබේ.
එය ඔවුන්ගේ ව්‍යාපාරයට නමක් ලැබීමට හේතුවක් වේ.
කෙනෙක්ගේ ඇති විශේෂ දක්ෂතාද ආයෝජනයකට වැදගත් වේ. මා දන්නා කෙනෙක් සංගීතඥයෙක් මෙන්ම බොහෝ විදේශ භාෂාවල නිපුණ කෙනෙක් වේ. ඔහු ඉහත කී කුඩා හෝටල්වලට සංගීතය සැපයීමට අමතරව, විදේශිකයන්ට මඟ පෙන්වීමද කරයි.
අද දින ලංකාවට පැමිණෙන විදේශිකයන් සමහරෙක් ලංකාවේ ඉතිහාසය සහ පැරණි රාජධානි ගැන දන ගැනීමට කැමැත්තෝ වෙති. මෙහිදී ‘ඉතිහාසය විශ්ව විද්‍යාලයේ විෂයක් සේ ඉගෙන ගත් කෙනෙක්, ඒ ඉතිහාසය ඔවුන්ට කියා දී හොඳ මුදලක් උපයන බව දනිමි.
ඕනෑම කෙනෙක්ට තමන්ගේ දක්ෂතාවයන් අනුව කළ හැකි මෙවැනි දේවල් අපමණ ඇත.
අවශ්‍ය වන්නේ තමාගේ ධාරිතාවය, දක්ෂතාවය, කල හැකි-නොහැකි දේ හොඳින් තේරුම් ගැනීම පමණි.