කොටස් වෙළඳපොල තුළ නිරීක්ෂණය වූ සීග්‍ර ඉහලයාම් සහ පහලයාම් හට ගත්තේ කෙසේද?

 යම් කිසි රාජ්‍යයක් තුළ, දුර දක්නා නුවනින් යුතුව ආර්ථික කලමනාකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී, එම සැලසුම්වල ධනාත්මක ප්‍රතිඵල හිමිවන කාලය වන විට, ක්‍රමානුකූලව එම රාජ්‍යයේ ජනතාවගේ ආර්ථික ශක්තිය ද වර්ධනය වන බැවින් ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය ඉහල යයි.

එහි ඊලඟ ප්‍රතිඵලය වන්නේ එම රාජ්‍ය තුළ ව්‍යාපාරවල ආදායම් ඉහල යාමයි. එමගින් එම ව්‍යාපාරයන්ගේ "වටිනාකම" ද ක්‍රමානුකූලව වර්ධනය වන බවත්, එමගින් එම ව්‍යාපාරයන්ගේ කොටස් හිමියන්ගේ කොටස්වල වටිනාකමත් ඉහල යන බවත් දැකිය හැකියි. එය ඉතාම ස්වාභාවික තත්වයකි. 

 2009 යුද්ධය අවසන් වූ සැනින් මෙරට කොටස් වෙළඳපොල තුළ සීග්‍ර වර්ධනයක් නිරීක්ෂණය විය. 30 වසරක් පැවති ජනවාර්ගික යුද්ධයක් අවසන් වීම මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය කෙරෙහි ධනාත්මකව බලපාන්නා වූ ඉතා වැදගත් සාධකයක් වනු ඇතැයි ආයෝජන සමාජ කලාපය තුළ හට ගන්නා වූ ප්‍රබල විශ්වාසය උනන්දුවක් බවට පත් ව, එම හැඟීම රැල්ලක් බවට පත්වීම 2009 වසර අවසානයේ සිට කොළඹ කොටස් වෙළඳපොල තුළින් නිරීක්ෂණය වූ සීග්‍ර වර්ධනය කෙරෙහි බලපෑවේ ය. 

ඉහතින් සඳහන් කළ සාධක තවත් සරළ කර පහත පරිදි වර්ගීකරණය කළ හැකිය.

1. රටෙහි සමස්ත ආර්ථිකයේ වර්ධනය ගලා යාමෙන් ආයතනයන්හි ද වර්ධනයක් හට ගැනීමෙන් කොටස්වල අගය ඉහල යෑමේ ප්‍රතිඵලයක් ලෙසින් අඩු මිලට කොටස් විකිණීමෙන් වැළකී සිටීම නිසා කොටස් මිල ඉහල යාමෙන් සමස්ත කොටස් දර්ශක ඉහල යාම. 

2. රාජ්‍යයෙහි ආර්ථිකය කෙරෙහි බලපැවැත්වූ අහිතකර බලපෑම් ඉවත්වීම නිසා හට ගන්නා සුබවාදී පරිසරය පිළිබඳ විශ්වාසයෙන් අලුතින් ආයෝජකයන් විශාල වශයෙන් ඉදිරිපත්වීම නිසා කොටස් කෙරෙහි ඉල්ලුම වර්ධනය වී කොටස් වෙළඳපොල දර්ශක ඉහල යාම. 

කුමන විග්‍රහයක් සලකා බැලුවත්, කොටස් වෙළඳපොලක වර්ධනය කෙරෙහි බලපැවැත්වෙන්නා වූ සාධක ලෙසින් ඉහතින් සඳහන් කළ සාධක දෙක හඳුනාගත හැකිය.

එම සාධක දෙකෙහි අනෙක් පස, වෙනත් ලෙසකින් පවසනවා නම් ඉහතින් සඳහන් කරුණුවලට පටහැනි තත්වයන් ක්‍රියාත්මක වන්නේ නම් කොටස් වෙළඳපොළක් පරිහානිය කරා ගමන් කරනු ඇත.

තවත් පැහැදිලි කරන්නේ නම්, උදාහරණයක් ලෙසින්, වසංගතයක් හමුවේ රැකියා පවා අහිමිව, ජනතාවගේ ඉපයීම් හීන වී වියදම් කිරීමේ ශක්තිය පිරිහී ගිය කාලයක, රටෙහි සමස්ත ආර්ථිකය පිරිහි යන බව අවබෝධයක් ආයෝජකයින් හට තිබෙන මොහොතක, විදේශ ආයෝජකයන් තම ආයෝජන ආපසු රැගෙන යන මොහොතක කොටස් වෙළඳපොලක නිරීක්ෂණය විය යුත්තේ පරිහානියකි.  විදේශීය ආයෝජකයින් ඉවත් වෙන අවස්ථාවේ කොටස් වෙළඳපොල කෙරෙහි බලපැවැත්වෙන්නේ කොටස් විකිණීමේ පීඩනයකි. එනම් මිල දී ගැනීමට වඩා විකිණීම කෙරෙහි තරඟයක් හට ගනී. එම තරඟයෙහි ප්‍රතිඵලය වන්නේ කොටසක විකිණෙන අගය පහල යාමයි. එය එක ආයතනයක කොටස් කෙරෙහි පමණක් බලපැවැත්වෙන්නේ නැත. පළමුව ඒ හා සමාන ව්‍යාපාරයන්හි කොටස් වෙත රෝගය බෝ වේ. දෙවනුව සමස්ත කොටස් වෙළඳපොල තුළ ආයෝජකයෝ කොටස් විකිණීම් තරඟයට අවතීර්ණ වේ. එහි ප්‍රතිඵලය ක්‍රමයෙන් කොටස් වෙළඳපොල තත්වය පෙන්වන දර්ශක අගයන් පහළ යාමයි.

රටෙහි ආර්ථිකය දුර්වල වෙනවිට, එහි ආසන්න ප්‍රතිඵලය වන්නේ ආයේජකයන් බියට පත්වීමයි. එයින් අනාගත අපේක්ෂා පිළිබඳ විශ්වාසය බිඳ වැටේ. එය ඉහතින් සඳහන් කළ දෙවෙනි සාධකයේ පරස්පරයයි. 

ප්‍රතිඵලය වන්නේ කොටස් වෙළඳපොල තුළ මිල දී ගැනීම පිළිබඳ උනන්දුව හීනවී ගොස් එක තැන පල් වෙන තැන සිට කඩා වැටෙන තැනට පත්වීමයි.

ඉහතින් සඳහන් කරනු ලැබුවේ ස්වාභාවික තත්වයක පවතින විට නිරීක්ෂනය වන්නා වූ ලක්ෂණයි. 

පසුගිය දා කොළඹ කොටස් වෙළඳපොල "ඇදහිය නොහැකි" සීග්‍ර වර්ධනයක් අත්පත් කර ගත්තේ ය. මා මෙහි "ඇදහිය නොහැකි" යනුවෙන් සඳහන් කරනු ලැබුවේ ඇයි? එය ඉතාම වැදගත් ය.

වර්තමානයේ මෙරට ආර්ථිකය මුහුණ දී ඇති තත්වයන් ගැඹුරින් විග්‍රහ කර බලන විට,

සමස්ත ආර්ථිකයට බලපාන්නා වූ කරුණු අතර

1. වසංගතය හේතුවෙන් රැකියා ලක්ෂ ගණනක් අහිමිව, ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව පිරිහී ඇති බවත්, එම නිසා ජනතාව මත යැපෙන වෙළඳපොල තුළ ක්‍රියාකාරීත්වය පිරිහී ඇති බවත් රහසක් නොවේ. 

2. එහි ආසන්නම ප්‍රතිඵලය වන්නේ මෙරට සිට ක්‍රියාත්මක වන්නා වූ බොහෝ ව්‍යාපාරික ආතනවල ලාභ ඉපයීම් පසුගිය වසරවලට සාපේක්ෂව අඩු අගයක් හෝ පාඩු ලබන තත්වයක් ඇතිවීමයි. 

3. කොරෝනා වසංගතය හේතුවෙන් මාස ගණනකට රට වසා තැබිනි. එය ආර්ථික වශයෙන් සියලුම ව්‍යාපාර වෙත බලපානු ලැබීය. 2020 මාර්තු 31න් අවසන් වූ මුදල් වර්ෂයට සාපේක්ෂව වැඩි ආදායමක් හෝ ලාභයක් මේ මුදල් වර්ෂය තුළ උපයනු ඇතැයි සිහි බුද්ධිය ඇති කිසිවෙකු නොපවසනු ඇත. එය ඒ තරම්ම පැහැදිලි කාරණයකි. කොළඹ කොටස් වෙළඳපොල තුළ ලැයිස්තු ගත සියලු ආයතන 2020 මාර්තු 31න් අවසන් වූ වර්ෂයට සාපේක්ෂව මේ ගෙවමින් සිටින්නේ අසීරු වසරකි. මේ මුදල් වර්ෂය තුළ 2020 මාර්තු 31න් අවසන් වූ වර්ෂයට සාපේක්ෂව වැඩි වර්ධනයක් නොවන්නේ නම් කොටසක අගය පෙර වර්ෂයට සාපේක්ෂව ඉහල යාමක් සිදුවිය නොහැක. එය කොටස් ඉල්ලුම කෙරෙහි පීඩනයක් ඇති කරවන තත්වයක් නොවේ. 

3. ණය ගෙවීමේ හැකියාව වර්ගීකරණය කරනු ලබන ආයතන (Fitch Ratings) විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය පහත හෙළා තිබේ. එම තත්වය විදේශ ආයෝජකයන් අධෛර්‍යයට පත්කරවන බරපතල තත්වයකි. කොටස් වෙළඳපොල තුළ විදෙස් ආයෝජකයන් අධෛර්‍යයට පත්වීම විකිණීමේ පැත්ත කෙරෙහි පීඩනයක් ඇති කරවනු ලබයි. විකිණීමේ තරඟයක් හට ගත් මොහොතක, එම කොටස් මිල දී ගැනීමේ උනන්දුවක් ඇතිකරවන සාධක නොපවතින්නේ නම් එහි ආසන්නතම ප්‍රතිඵලය වන්නේ සියලු කොටස් දර්ශක වේගයෙන් පහල යාමයි. 

එහෙත් සිදුවූයේ අනෙක් පැත්ත ය.

එසේ වූයේ ඇයි?

එය සිදු වන්නේ මෙසේ ය. 

නැත.. එය සිදු කරන්නේ මෙසේ ය.

යම් පුද්ගලයෙකු සන්තකයේ කොටස් ලක්ෂයක් ඇති බවත්, ඒවායේ මිල, ඒ තැනැත්තා එම කොටස් විකිණීමට අදහස් කරනු ලබන මිලට වඩා අඩු මිලක පවතින්නේ යැයි ද සිතමු.

ඔහු සාමාන්‍ය පරිදි ඔහුගේ කොටස් සංඛ්‍යාව කොටස් වෙළඳපොල තුළ විකිණීම සඳහා ඉදිරිපත් කළ හොත් සිදු වන්නේ ආරම්භක අවස්ථාවට වඩා තවත් මිල පහල වැටී අනුමාන අලාභයට වඩා වැඩි අලාභයක් ලැබීමයි.

ඒ තැනැත්තා නීතියක් නැති මෙරට කොටස් වෙළඳපොලෙහි වැඩ කටයුතු සිද්ධ වෙන ආකාරය පිළිබඳ දන්නා අයෙකු නම් කරනු ලබන්නේ විකිණීම නොව, වෙනත් අය විසින් විකිණීමට ඉදිරිපත් කර ඇති කොටස් සියල්ල වේගයෙන් මිල දී ගැනීමයි. එය කොටස් කෙරෙහි ඉල්ලුමක් හට ගැනීමක් ලෙසින් බාහිර නිරීක්ෂකයා වෙත දර්ශනය වේ. එම ඉල්ලුම තාවකාලික, කෘතිම සහ නීති විරෝධි එකකි. එලෙසින් නිර්මාණය වන ඉල්ලුම මත කොටසක් විකිණෙන මිල ක්‍රමයෙන් ඉහල අගයක් කරා යවනු ලබන අතර, අලුත් ගැනුම්කරුවෝ විසින් තව තවත් මිල ඉහල දමන බවට නිරීක්ෂණය කළ හැකි වේ. තමන්ට අවශ්‍ය වූ මිල තෙක් කොටසක මිල වර්ධනය වූ පසුව, අර තැනැත්තා විසින් ක්‍රමානුකූලව සෙමින් තමන් විසින් අලුතින් ගත් කොටස් සංඛ්‍යාවත් සමඟ හිමිව තිබූ කොටස් සංඛ්‍යාව ද විකුණා දමයි. ඒ සැනින් කොටස කෙරෙහි පැවැත්වූ කෘතිම කැමැත්ත හෙවත් ඉල්ලුම අහෝසි වේ. එයින් පසුව උදා වෙන්නේ අලුතින් එකතු වූ ආයෝජකයන් තමන් 'ශ්‍රී ලංකන් ශෙයාර් මාකට්' සෙල්ලමක ගොදුරක් බවට පත්වූ බව තේරුම් ගන්නා මොහොතයි. එයින් පසුව කොටසෙහි අගය ඉගා වේගයෙන් පහල බසී. 

ඉහතින් මා පෙන්වා දුන්නේ කොළඹ කොටස් වෙළඳපොල තුළ පවතින ඉතාම සරල ආකාරයේ වෙළඳපොල හැසිරවීමකි. (Share  market manipulation) 

මෙරට සිදු වන්නේ ඊටත් වඩා සංකීර්ණ වූ සැලසුම් සහගත බරපතල වංචා හරහා සිදුවන වෙළඳපොල හැසිරවීම් ය.

උදාහරණයක් ලෙසින්, පවතින  ආණ්ඩුව ගෙන ඒමට වියදම් කළ ව්‍යාපාරිකයෙකු සතුව මිල පිරිහෙමින් පවතින කොටස් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබේ යැයි සිතමු. ඔහු තම බලවත් ආණ්ඩු හිතවතා හරහා බලපෑම් කර සේවක අර්ථ සාධක අරමුදල යොදවා වෙළඳපොල තුළ ඔහුට අවශ්‍ය කොටස් මිල දී ගැනීමෙන් කොළඹ කොටස් වෙළඳපොල තුළ කෘතිම ඉල්ලුමක් වර්ධනය කරනු ඇත. එය සැබෑ ඉල්ලුමක් ලෙසින් වැරදියට තේරුම් ගන්නා අලුත් ආයෝජකයෝ විසින් මිල දී ගැනීමේ තරඟයක් ඇති කරවනු ඇත. එයින් සියලු කොටස් දර්ශක අගයන් ඉහල යන බැවින් තරඟය අලුත් වෙමින් සැලකිය යුතු දුරක් ගමන් කරනු ඇත.

ආණ්ඩු හිතවතා සැනසෙන තැනට ඔහුට හිමි කොටස්වල මිල ඉහල යාමෙන් පසුව විකිණීම ආරම්භ වේ. ඒ "කොළඹ කොටස් වෙළඳපොල" ගැන නොදන්නා අලුත් ආයෝජකයන් තුෂ්නිම්භූත කරවන මොහොතයි. පාඩුව අත්විඳින්නේ සේවක අර්ථ සාධක අරමුදල සහ අලුත් ආයෝජකයන් ය. 

සීග්‍ර වර්ධනයක් ලැබූ කොටස් වෙළඳපොල සීග්‍රයෙන් වාර්තා තබමින් කඩා වැටේ. 

ඔ්නෑම කොටසක් සඳහා සැබෑ අගයක් පවතී. එම අගයට වඩා වැඩි අගයක් කරා කොටසක අගය ගමන් කිරීම හඳුන්වන්නේ (ආර්ථික) බුබුලක් ලෙසිනි.  

මේ බුබුලු සබන් බුබුලුු හා සමාන ය. එහි ස්වාභාවයම වන්නේ මොහොතකින් පිපිරී යාමයි.


ප. ලි:- මෙරට කොටස් වෙළඳපොල තුළ ක්‍රියාත්මක වූ ඉතාම නින්දිත වූ ක්‍රියාවලියක් තිබේ. එය සිදු කරනු ලබන්නේ බ්‍රෝකර්වවරු හරහා ය. යම් සමාගමක විශාල කොටස් සංඛ්‍යාවක් හිමි පුද්ගලයෙකු හට එම කොටස් ඉහල මිලකට විකුණා ගැනීමට අවශ්‍ය වූ විට, ඒ තැනැත්තාගේ බ්‍රෝකර් හරහා එම කොටස්, කොටස් වෙළඳපොල තාක්ෂණය නොදන්නා, නවක ආයෝජකයන් හට මිලදී ගැනීමට පොළඹවනු ලබයි. බ්‍රෝකර්වරයා විසින් "මේක නියමයි.. ලඟදිම වැඩි වෙනවා" යැයි පැවසූ සැනින්, බ්‍රෝකර්ගේ වචන විශ්වාස කරනු ලබන අහිංසක ආයෝජකයන් තමන්ගේ ගිණුමටත් හැකි තරම් එයින් කොටස් අරන් දෙන්න යැයි පවසති. එයින් ද ක්‍රමානුකූලව කොටස් හි විකුණුම් මිල ඉහල යයි. විශාල කොටස් සංඛ්‍යාවක් හිමිව සිටි පුද්ගලයා සෙමින් තමන්ගේ කොටස් ප්‍රමාණය අර අහිංසක ගැනුම්කරුවන් වෙත විකුණා දමයි. ඉහල මිලක් පවතින්නේ අර තැනැත්තාගේ කොටස් ප්‍රමාණය අහිංසකයන් අතරේ විකිණී අවසන් වෙන තෙක් පමණි. විකිණී අවසන් වූ සැනින් කොටසෙහි මිල ඩලස් ගා කඩා වැටේ.