බැදුම්කර යනු මොනවාද?

 



මේ දවස් වල සමාජයේ දැඩි උනන්දුවක් පවතින මාතෘකාවක් වන බැදුම්කර මීට වසර කිහිපයකට
පෙර  කතා බහට ලක්වුයේ සුළු පිරිසක් අතර පමණි. කෙසේ නමුත් බැදුම්කර යනු බොහෝ
පිරිසකට නුපුරුදු විෂයකි. මෙම ලිපියෙන්  ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ භාණ්ඩාගාර
බැදුම්කර (Treasury Bonds) යනු කුමක්ද, ඒවා කවර කටයුත්තක් සඳහා භාවිතා වේද, සහ ඉන්
ආර්ථිකයට කවර බලපෑමක් ඇත්දැයි යන්න ඉතා සරලව හැකිතාක් තාක්ෂණික කරුණු බැහැර
කරමින් විස්තර කිරීමය. පාඨකයාගේ පහසුව සඳහා මෙම ලිපිය තුලින් බැදුම්කර පිළිබඳව
පමණක් විස්තර කෙරෙන බව සලකන්න.


ඉතා සරලව කිවහොත් බැදුම්කර යනු යම් රජයක් විසින් නිශ්චිත කාල සීමාවක් තුල ණය
සපයන්නෙකුට යම් ස්ථිර පොලියක් ගෙවන බවට වන පොරොන්දුවකි. වෙනත් විදිහකින්
කිවහොත් මෙය ආයෝජකයකුට යම් කාල පරිච්චේදයක් තුල ස්ථිර අදායමක් ලබාගත හැකි
ආයෝජන විශේෂයක් ලෙස සැලකිය හැක.


බැදුම්කර වලට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර ප්‍රථම වාර්තාගත බැඳුම්කරය ක්‍රි.පූ. 2400 දක්වා
ඈතට දිව යයි. ගල් පුවරුවක කොටා ඇති මෙම බැදුම්කරය සොයාගනු ලැබුවේ  
මෙසපොතේමියාව හෙවත් වර්තමාන ඉරාකයෙනි. දොළොස් වන සියවසේ වැනීසිය විසින් සිදුකල
යුද්ධ සඳහා  අරමුදල් සපයා ගැනීමට බැඳුම්කර නිකුත් කිරීම ආරම්භ විය. නුතන රජයක් විසින්
නිකුත් කරන ලද ලොව ප්‍රථම බැඳුම්කරය ප්‍රංශයට එරෙහිව සිදුකල යුද්ධයට අරමුදල් සපයා ගැනීම
වෙනුවෙන් 1694 දී එංගලන්ත මහ බැංකුව විසින් නිකුත් කර ඇත.


ශ්‍රී ලංකාවේ මුල්ම බැදුම්කර නිකුතුව සිදුවුයේ 1997 වසරේදී ය. එම වසරේ අවුරුදු දෙක හා  හතර
කල්පිරීමේ කාලයක් ඇති බැදුම්කර නිකුත් කරන ලදී. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ බැදුම්කර
වෙළඳපොල බොහෝ ඉදිරියට ගොස් ඇත. 2003  වන විට අවුරුදු 20 දක්වා කල්පිරීමේ කාලයක්
ඇති බැදුම්කරත් 2015 වන විට අවුරුදු 30 දක්වා වන බැදුම්කරත්  නිකුත් කර ඇත. ඉන්දියාව
මේ වන විට වසර 40 දක්වා වූ බැදුම්කර නිකුත් කොට ඇත. මීට වඩා දිගුකාලින බැදුම්කර නිකුත්
කිරීම අසාමාන්‍ය දෙයක්  නොවේ. උදාහරණයක් ලෙස ආර්ජන්ටිනාව සහ ඔස්ට්‍රියාව පසුගිය
වසරේ වසර 100 ක කල්පිරීමක් ඇති බැදුම්කර නිකුත් කරන ලදී. මිට පෙර අයර්ලන්තය,
එක්සත් රාජධානිය සහ බෙල්ජියමද මෙවන් ඉතා දිගු කාලීන බැදුම්කර නිකුත් කර ඇත.
මේ දින වල දැඩිව කතාබහට පත්වන බැදුම්කර සිද්ධිය වසර 30 ක කල්පිරීමක් ඇති බැදුම්කර
නිකුතුවකි.


රජයක් බැදුම්කර නිකුත් කරන්නේ කවර හේතුවක් නිසාද? රජයේ අදායම සහ වියදම් අතර
වෙනස අයවැය හිඟය ලෙසින් හදුන්වයි. අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජය මුදල් ණයට ලබා
ගැනීම සිදු කරයි. සාමාන්‍යයෙන් මෙම මුදල් සපයා ගන්නේ රජයේ අදායම් මාර්ග වලිනි. මේ අනුව
බදු, රාජ්‍ය සංස්ථා අදායම් වැනි ප්‍රභව මගින් මෙම මුදල් සපයා ගනු ලබේ. නමුත් වියදම් පියවා
ගැනිමට මෙම අදායම ප්‍රමාණවත් නොවිය හැක. එවන් අවස්ථාවන්හි මුදල් රැස් කිරීම සඳහා ක්‍රම
තුනක් ඇත. පළමුවැන්න වන්නේ බදු වැඩි කිරීම හෝ අලුතින් බදු හදුන්වා දීම මගින් රජයේ
අදායම් මාර්ග ඉහල දැමීමය. දෙවැනි ක්‍රමය වන්නේ දේශීය හෝ විදේශීය ණය ලබාගැනීමය.
තෙවන ක්‍රමය වන්නේ මුදල් අච්චු ගැසීමය. බැදුම්කර යනු ඉහත සඳහන් කල ක්‍රම තුනේ දෙවැනි
ක්‍රමයට අයත් ණය ලබා ගන්නා ක්‍රමයකි. ඊට අමතරව කෙටි කාලීන ණය උවමනාවන් සපුරා
ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) මගින්ද රජය ණය ලබා ගැනීම සිදු කරයි.


බැදුම්කර වල පරිණත කාලය, මුහුණත් අගය, විකුණුම් මිල, කුපන් ගෙවීම්, සහ පලදා අනුපාතය
ලෙස විශේෂ ලක්ෂණ කිහිපයක් ඇත. මෙම සංකල්ප බැදුම්කර වල ක්‍රියාකාරිත්වය තේරුම්
ගැනීමට අත්‍යාවශ්‍ය වේ. ඒවා පිළිබඳව පහතින් විස්තර කෙරේ.


බැදුම්කරයක කල් පිරීමේ කාලය, “පරිණත කාලය” (Maturity) ලෙස හදුන්වයි. මේ වන විට ශ්‍රී ලංකා
රජය අවුරුදු 2, 5, 6, 8, 10, 15, 20, සහ 30 යන පරිණත කාල වලට අයත් බැදුම්කර නිකුත් කර
තිබේ. බැදුම්කරයක ඒකක වටිනාකම “මුහුණත් අගය” (Face Value) ලෙස හදුන්වයි. බැදුම්කරයක
“විකිණුම් මිල” (Selling Price) බොහෝ විට මුහුණත් අගයට වඩා වෙනස් අගයක් ගනී. ඊට හේතුව
වන්නේ විකිණුම් මිල තීරණය වන්නේ ඉලෙක්ට්‍රොනික වෙන්දේසි ක්‍රමයක් මගින් වෙළදපොළ
බලවේග වලට අනුව වීමය. පරිණත කාලය අවසානයේ රජය විසින් බැදුම්කර දරන්නාට මුහුණත්
අගය ගෙවනු ලැබේ. ඒ අතරතුර නිශ්චිත පොළී  මුදලක් මාස හයකට සැරයක් බැදුම්කරය
කල්පිරෙන තෙක් ගෙවනු ඇත. මෙම පොළී අනුපාතිකය “කූපන් අනුපාතය” (Coupon Rate) ලෙස
හදුන්වනු ලැබේ. කූපන් අනුපාතය රටේ ආර්ථිකයේ ස්වභාවය ඇතුළු තවත් කාරනා පදනම් කොට
මහ බැංකුව විසින් තීරණය කෙරේ. පරිණත කාලය ඉහළ යනවිට බැදුම්කරයේ අවධානමද ඒ
සමග ඉහළ යයි. එවිට ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට ඉහල කූපන් අනුපාතයක්
ලබාදීමට රජයට සිදුවේ. “පරිණත කාල පලදා අනුපාතය” (Yield to Maturity) යනු බැදුම්කරය
කල්පිරෙන තෙක් තබා ගත හොත් වසරක් තුල ආයෝජකයාට ඉපයිය හැකි ලාභයේ ප්‍රමාණය
පෙන්වන දර්ශකයකි. අනෙක් අතින් ගතහොත් එය රජයට වාර්ෂිකව දරන්නට වන වියදමේ
ප්‍රමාණය පෙන්වන දර්ශකයකි. මෙම අගය ගණනය කිරීම තරමක් සංකීර්ණ වන අතර එය මෙම
ලිපියේ අරමුණින් ඔබ්බට යන්නකි. වැඩි පලදා අනුපාතයක් යනු වැඩි ලාභයක් ලැබීමට ඇති
හැකියාවය. එම නිසා ආයෝජකයන් මෙම පලදා අනුපාතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු
කරයි. බැදුම්කරයේ පලදා අනුපාතය විකිණුම් මිල මත වෙනස් වේ. ඒ අනුව වෙන්දේසි
ක්‍රියාවලියේදී ආයෝජකයින් සැමවිටම උත්සහ කරන්නේ උපරිම පලදා අනුපාතයක් ලබා
ගැනීමටය. මෙය ඉෂ්ට කර ගැනීමට නම් හැකිතාක් අඩු මිලකට බැදුම්කර මිලදී ගත යුතුය.
යම් හෙයකින් ආයෝජකයකු වෙන්දේසියේදී මුහුණත් අගයට වඩා අඩු මුදලකට බැදුම්කර
මිලදී ගතහොත් ඔහුට අදාළ කුපන් අනුපාතයට වඩා වැඩි පලදා අනුපාතයක් ලබා ගත හැක.
නමුත් රජය පැත්තෙන් බලන කල පලදා අනුපාතය යනු වියදමක් බැවින් එය අඩු ප්‍රමාණයක
පැවතීම වාසිදායකය.


ඉහත සදහන් කල සංකල්ප පහසුවෙන් තේරුම් ගැනීම සඳහා මනංකල්පිත නිදසුනක් දෙස බලමු.
වසර 10 කින් කල්පිරෙන (පරිණත කාලයක් ඇති) 10% ක කූපන් අනුපාතයක් ඇති බැදුම්කරයක්
සලකා බලමු. මෙහිදී ආයෝජකයාට සෑම රුපියල් 100 ක මුහුණත් අගයක් ඇති බැදුම්කරයකටම
රුපියල් 10ක වාර්ෂික පොළී මුදලක් ගෙවීමට රජය එකඟ වේ. ඒ අනුව සෑම මාස 6 කට රුපියල් 5
බැගින් ඉදිරි වසර 10 ඇතුලත වාරික 20ක් යනතෙක් පොළී අදායමක් ලැබීමට ආයෝජකයාට
හැකිය. ඉන් පසු කල්පිරීමේදී ආයෝජනය කල සෑම බැදුම්කරයකටම එහි මුහුණත් අගය, එනම්
රුපියල් 100 ක මුදලක් ලබා ගැනීමට ආයෝජකයාට හැකිවේ. ඒ අනුව රුපියල් මිලියනයක්
බැදුම්කරවල ආයෝජනය කරන්නෙකුට වසරකට රුපියල් ලක්ෂයක අදායමක් හිමිවන අතර
වසර 10ය අවසානයේ රුපියල් මිලියනයක ලාභයක් හිමිකරගැනීමට හැකියාවක් ලැබේ.
යම් හෙයකින් මෙම වෙන්දේසියේදී ආයෝජකයාට බැදුම්කරයක් රුපියල් 90ක මුදලකට ලබා
ගැනීමට හැකිවුයේ නම්, ඉහත සඳහන් කල වාර්ශික පොළියට අමතරව කල්පිරීමේදී ආයෝජනය
කල සෑම බැදුම්කරයකටම රුපියල් 10ක ලාභයක් ලබා ගැනීමට ආයෝජකයාට හැකියාවේ.
ඒ අනුව රුපියල් මිලියනයක් ආයෝජනය කල විට වසර 10 ය අවසානයේ රුපියල් මිලියන 1.1 ක
ලාභයක් උපයීමට ආයෝජකයාට අවස්ථාව ඇත. මෙම අවස්ථාවේදී පරිණත කාල අනුපාතය
11.75% ක් වන අතර එය කුපන් අනුපාතයට (10%) වඩා ඉහල අගයක් බව පැහැදිලිවම පෙනේ.      


බැදුම්කර වල ආයෝජනය කිරීමේ ඇති සුවිශේෂී වාසිය වන්නේ, එහි අවධානම (Risk) අනෙකුත්
ආයෝජන වලට සාපේක්ෂව අවම වීමය. එමගින් ස්ථිර අදායමක් කල්පිරෙන තෙක් ලබා ගැනීමට
ආයෝජකයන්ට අවස්ථාව ලැබේ. බැදුම්කර වල ආයෝජනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ඕනෑම
පුරවැසියෙකුට ඇත. නමුත් මෙම ආයෝජන සිදු කල යුත්තේ ප‍්‍රාථමික අලෙවිකරුවකු හරහාය.
දැනට ප‍්‍රාථමික අලෙවිකරුවන් ලෙස කටයුතු කරන ආයතන 15 ක් ඇත. (පර්පෙචුවල් ට්‍රේෂරීස්
යනු ඉන් එක් ආයතනයක් වන අතර ඔව්න්ගේ සේවය දැනට මහ බැංකුව විසින් අත්හිටුවා ඇත).


බැදුම්කර වල ආයෝජනය කිරීමේදී ආයෝජකයන් අවධානය යොමු කරන තවත් අංගයක් වන්නේ
එහි ණය ශ්‍රේණියයි. ලොව ප්‍රධානතම ශ්‍රේණිගත කරන ආයතන තුන  වන්නේ මුඩීස් (Moody’s),
ෆිච් (Fitch),  සහ එස් ඇන්ඩ් පී (S & P) ය. බැදුම්කර  වල ණය ශ්‍රේණිය එය නිකුත්කරන රජයේ ණය
ගෙවීමේ හැකියාව පිළිබිඹු කරයි. සරලව ගත හොත් මෙම ශ්‍රේණිගත කිරීම් වල A, B, C ලෙස
ප්‍රධාන ශ්‍රේණි 3ක් ඇත. ඉහල තත්වයේ ආයෝජනයට සුදුසු බැදුම්කර A ශ්‍රේණියටත්, අතරමැදි
තත්වයේ බැදුම්කර B ශ්‍රේණියටත් (මෙහි සමහර අනුශ්‍රෙනි ආයෝජනයට සුදුසු වන අතර අනෙක්
අනුශ්‍රෙනි ආයෝජනයට නුසුදුසු වේ), ආයෝජනයට නුසුදුසු බැදුම්කර C ශ්‍රේණියටත් ලෙස කාණ්ඩ
කොට ඇත. උදාහරණයක් ලෙස ඇමරිකාවේ බැදුම්කර A  ශ්‍රේණියටත් ශ්‍රී ලංකාවේ බැදුම්කර B  
ශ්‍රේනියටත් ග්‍රීක බැදුම්කර C ශ්‍රේණියටත් අයත්වේ.


රජය වෙනුවෙන් බැදුම්කර නිකුත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටය.
මෙම බැදුම්කර අළෙවි කරනු ලබන්නේ වෙන්දේසි ක්‍රමයක් මගිනි. මෙය ප්‍රථමික වෙළඳපොළ
ලෙස හදුන්වනු ලැබේ. අප එදිනෙදා ජීවිතයේදී දකින වෙන්දේසියකට වඩා සෑහෙන වෙනස්
ආකාරයකින් බැදුම්කර වෙන්දේසියක් සිදු වේ. රජයේ මුදල් අවශ්‍යතාවයන් අනුව සෑම මසකම
සාමාන්‍යයෙන් බැඳුම්කර වෙන්දේසි 3 ක් හෝ 4 ක් පවත්වයි. මහ බැංකුව වෙන්දේසිය පිළිබද
විස්තර වෙන්දේසි දිනයට දින 2 කට වත් පෙර පුවත්පත් මගින් ආයෝජකයින්ට දැනුම් දේ.
මෙම නිවේදනයේ නිකුත්කරන බැදුම්කර ප්‍රමාණය, පරිණත කාලය, කූපන් අනුපාතය, වෙන්දේසි
දිනය ඇතුළු තවත් විස්තර සඳහන් වේ. මෙහිදී තරඟකාරී වෙන්දේසි මගින් මිල පදනම මත
ප‍්‍රාථමික අලෙවිකරුවන් වෙත බැදුම්කර නිකුත් කරනු ලැබේ. ලංසු තැබීම සිදුවන්නේ ස්වයංකී‍්‍රය
ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලියක් හරහාය. වෙන්දේසී දිනයේ පෙරවරු 11 වන විට සියලු ලංසු තැබීම
හමාර කල යුතුය. මෙහිදී මතක තබා ගත යුතු කාරණයක් වන්නේ ලැබී ඇති ලංසු අනිවාර්යයෙන්
පිළිගැනීමට මහ බැංකුව කිසි ලෙසකින් බැදී නොමැති බවය. එමෙන්ම පිළිගැනීමට තීරණය කරන
ලංසු ප්‍රමාණය බොහෝ ආර්ථික හා වෙළඳපොළ සාධක මත රඳා පවතී. ඉන් පසු සිදුවන ක්‍රියාවලිය
තේරුම් ගැනීමට පහත සදහන් මනංකල්පිත නිදසුන වෙත අවධානය යොමු කරමු.

මහ බැංකුව විසින් රුපියල් 100 ක මුහුණත් වටිනාකමක් හා 10% ක කූපන් අනුපාතයක් දරන
වසර 10 යක පරිනත කාලයකින් යුත් රුපියල් බිලියනයක (එනම් රුපියල් මිලියන 1000 ක)
බැදුම්කර වෙන්දේසි කරන අවස්තාවක් සලකා බලමු. මෙය පසුවෙන් අවබෝධ කරගැනීම සඳහා
ප්‍රාථමික අලෙවිකරුවන් ගණන පස් දෙනෙකුට පමණක් සිමා වූයේ යයි සිතමු. එවිට ප්‍රාථමික
අලෙවිකරුවන් විසින් තැබූ ලංසු පහත වගුවෙන් නිරූපනය වේ.


එම වගුවේ පෙනෙන ආකාරයට එක් එක් ප්‍රථමික අලෙවිකරු ස්වාධීනව ඉදිරිපත් කල ලංසු වැඩිම
ලංසුවේ සිට අඩුම ලංසුව දක්වා සකස් වේ. මේ අනුව පළමු ප්‍රාථමික අලෙවිකරු මුහුණත් අගයට
වඩා රුපියල් 2 ක් වැඩියෙන් (රු 102 බැගින්) මිලියන 200 ක් වටිනා බැදුම්කර මිලදී ගැනීමට
ඉදිරිපත් වී ඇත. මෙම මිලියන 200ක් වටිනා බැදුම්කර මිලදීගැනීමට එම ප්‍රාථමික අලෙවිකරුට
රුපියල් මිලියන 204 ක් ගෙවීමට සිදුවේ. මෙහි පලදා අනුපාතය 9.68% ක් වේ. මේ ආකාරයට
දෙවන ප්‍රාථමික අලෙවිකරු රු 101 බැගින් මිලියන 250 ක්ද තෙවන ප්‍රාථමික අලෙවිකරු රු 99
බැගින් මිලියන 250 ක්ද යනාදී වශයෙන් පස්වන ප්‍රාථමික අලෙවිකරු වන තෙක් ලංසු තබා ඇත.
මෙහිදී අවධානය යොමු කල යුතු කාරණයක් වන්නේ තෙවන, සිව්වන, හා පස්වන ප්‍රාථමික
අලෙවිකරුවන් මුහුණත් අගයට වඩා අඩුවෙන් ලංසු තබා ඇති බවය. මෙලෙස මුහුණත් අගයට
වඩා අඩුවෙන් ලංසු තැබීම අසාමාන්‍ය දෙයක් නොවේ.

ඉහත වෙන්දේසියෙන් රුපියල් බිලියනයක මුහුණත් අගය දරන බැදුම්කර උපරිම මිලකට විකුණා
ගැනීමට මහ බැංකුව අපේක්ෂා කරයි. නමුත් එම ප්‍රමාණය ඉක්මවා රු. බිලියන 1.15 කට ලංසු
ඉදිරිපත් වී ඇත. මෙයින් අදහස් කරන්නේ එම බැදුම්කර නිකුතුවට ආයෝජකයින්ගෙන් හොද
ඉල්ලුමක් ඇති බවය. මෙහි අනෙක් පැත්තද සිදු විය හැක. එවිට මහ බැංකුව කලින් අපේක්ෂා කළ
තරම් බැදුම්කර ප්‍රමාණයක් විකුණා ගැනීමට නොහැකි වනු ඇත. වැඩිපුර ලංසු ලැබී ඇතිනම්,
අවශ්‍යතාවය මත  පදනම්ව මහ බැංකුව කලින් ඉදිරිපත් කල ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්
වුවද පිළිගනිය හැක.

මිල ගණන් පරික්ෂා කිරීමෙන් අනතුරුව මහ බැංකුව කලින් ඉදිරිපත් කල ප්‍රමාණයම (එනම්
රු. බිලියනයකට) අදාළ ලංසු පිළිගැනීමට තීරණය කලේ යැයි උපකල්පනය කරමු.  එම බැදුම්කර
ප්‍රමාණය නිකුත් කිරීමට ඒ අනුව වැඩිම ලංසු ඉදිරිපත් කොට ඇත්තේ ඉහත වගුවේ පළමු තීරුවේ
දැක්වෙන ආකාරයට මුල් ප්‍රාථමික අලෙවිකරුවන් හතර දෙනාය. මේ අනුව එම ප්‍රාථමික
අලෙවිකරුවන් හතර දෙනාට බැදුම්කර නිකුත් කිරීමට තීරණය වන අතර පස්වන ප්‍රාථමික
අලෙවිකරුගේ ලංසුව ප්‍රතික්ෂේප වනු ඇත. මෙහිදී අවධානය යොමු කලයුතු කරුණක් වන්නේ
රුපියල් බිලියනයක් වටිනා බැදුම්කරවලට මෙම වෙන්දේසියෙන් මහබැංකුවට එකතු කර ගැනීමට
හැකි වන්නේ රුපියල් මිලියන 995ක් පමණි (ඉහත වගුවේ වමේ සිට හතරවන තීරුවේ ජයග්‍රාහි
ප්‍රාථමික අලෙවිකරුවන් හතර දෙනා ගෙවන ප්‍රමාණයේ එකතුව). මින් අදහස් වන්නේ දළ වශයෙන්
රජය 10.08% ක වාර්ෂික පොළියක් මෙම අලෙවිකරුවන් හතර දෙනාට ගෙවිය යුතු බවය.
වෙන්දේසියෙන් අනතුරුව සමස්ත ප්‍රතිපලය මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරේ.

බැදුම්කර යනු දිර්ග කාලීන ආයෝජන බව කලින් සදහන් වුනි. යමෙකුට මෙම ආයෝජන
කල්පිරීමට පෙර මුදල් බවට හැරවීමේ අවශ්‍යතාවයක් පැන නැගිය හැක. බැදුම්කර වල ආයෝජනය
කිරීමේ ඇති තවත් වාසියක්  වන්නේ අවශ්‍යතාවයකයකදී ඉතා ඉක්මනින් මුදල් බවට හැරවීමට
ඇති හැකියාවය. මෙවන් අවස්ථාවක ද්විතීයක වෙළදපොලේ බැදුම්කර අලෙවි කිරීමට හැකියාවක්
ඇත. ප‍්‍රාථමික අලෙවිකරුවන්ට අමතරව අවසර ලත් වාණිජ බැංකු ද්විතීයක වෙලදපොලේ
ක්‍රියාකාරී වේ. ඔවුන් ආයෝජකයන්ට බැදුම්කර විකිණීමත් ආයෝජකයන්ගෙන් බැදුම්කර මිලදී
ගැනීමත් සිදුකරයි. ප්‍රථමික වෙළඳපොලේ මෙන්ම ද්විතීයක වෙළඳපොලේද බැදුම්කර මිල තීරණය
වන්නේ වෙළඳපොල බලවේග අනුවය.

බැදුම්කර වෙළඳපොළ ක්‍රියාකාරිත්වය රටක ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති අතර එය
ආර්ථිකයේ  තත්වය පිළිබිඹු කරයි. එමෙන්ම බැදුම්කර පළදා අනුපාතය රටේ පොළී අනුපාත
ව්‍යුහය සමග දැඩි සම්බන්ධතාවයක් ඇත. කොටස් වෙළඳපොල දුර්වල අවස්ථාවන් වල
ආයෝජකයන් බැදුම්කර හෝ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමට පෙළඹේ.

ඉහත කරුණු සලකා බලන විට බැදුම්කර යනු ආර්ථිකයේ අත්‍යාවශ්‍ය අංගයක් වන අතර
ආයෝජකයන්ගේ විශ්වාසය ඉහල තත්වයක පැවතීම රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොල ප්‍රවර්ධනයට
සුබවාදීව බලපානු ඇත.