මුලින්ම ක්‍රෙඩිට් කාඩ්පතක් යනු කුමක්දැයි තේරුම් ගනිමු. ඩෙබිඩ් කාඩ්පතක් ලබාගැනීමට ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුමක් තිබිය යුතුය. ගිණුමේ මුදල් ඩෙබිට් කාඩ්පත හරහා භාවිත කළ හැකිය. එහෙත් ක්‍රෙඩිට් කඩ්පතක් ලබාගැනීම සඳහා ඔබට ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. ක්‍රෙඩිට් කාඩ් පත සිංහලෙන් ණය පත කියා හඳුන්වමු. ක්‍රෙඩිට් කාඩ් යන්නෙහි නියම අරුත දැන් ඔබට වැටහේවි.
ක්‍රෙඩිට් කාඩ්පත් මෙන්ම ඩෙබිට් කාඩ්පත්ද Master card, Visa, American Express යන ආයතනවල සන්නාම යටතේ නිකුත් කෙරේ. Visa කාඩ්පතක් නම් Visa ලකුණ දරන වෙළෙඳ ආයතනයන්හිදී මිලදී ගැනීම සඳහා භාවිත කළ හැකිය. එවිට අදාළ ජාලය හා කාඩ්පත සම්බන්ධ වෙයි.
ලංකාවේ බැංකු බොහොමයක් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරයි. මේ කාඩ්පත් ලබා ගැනීම සඳහා ඔබ විසින් අයැදුම්පතක් බැංකුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය. මේ අයැදුම් පත්‍රයේ බොහෝ විස්තර අඩංගු විය යුතුය.
1. අයැදුම්කරුගේ සම්පූර්ණ නම හා ලිපිනය
2. අයැදුම්කරුගේ රැකියාව
3. අයැදුම්කරුගේ අදායම
4. අයැදුම්කරුගේ වෙනත් ක්‍රෙඩිට් කාඩ්පත්
5. වෙනත් බැංකු ගිණුම්වල විස්තර
6. වෙනත් අවශ්‍ය තොරතුරු
මේ සමඟ තම අනන්‍යතාව සහතික කරන ලේඛන ඉදිරිපත් කළ යුතුය. රැකියාව සහ ආදායම සහතික කරන ලේඛන සමඟ ලිපිනය සහතික කරන ලේඛනද ඉදිරිපත් කළ යුතුය. මේ ලේඛන විශ්ලේෂණය කිරීමෙන් පසු ගනුදෙනුකරුට අදාළ ණය සීමාව තීරණය කරනු ලබයි. මෙය ණයක් ලෙස සලකන බැවින් දුරකතනය මඟින් ගනුදෙනුකරුව තහවුරු කරගනු ලබයි. සාමාන්‍ය ණයක් දීමේදී භාවිත වන ක්‍රමවේදයෙන් මඳ වෙනසක් සහිතව මේ ක්‍රියාවලිය භාවිත වේ.
කාඩ් පතේ ණය සීමාව තීරණය කළ පසු කාඩ්පත් මුද්‍රණය කෙරේ. ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනුකරුට ළඟාවන විට අක්‍රිය තත්ත්වයේ පවතී. ඒ ගනුදෙනුකරුගේ හා බැංකුවේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිසය. කාඩ් හිමියා විසින් කාඩ්පත ලද පසු බැංකුව අමතා කාඩ්පත සක්‍රිය කරගත යුතුය.
සක්‍රිය කරගත් කාඩ්පත් භාවිතය සඳහා සූදානම්ය. කාඩ්පත භාවිතයත් සමඟ දැනගත යුතු යෙදුම් කිහිපයක් වෙයි.
1. ගෙවිය යුතු අවම මුදල
2. ගෙවීම් කළ යුතු දිනය
3. බිල්ගත වන දිනය
4. ගෙවිය යුතු මුළු මුදල
5. ප්‍රමාද ගාස්තු
6. පොලී රහිත කාල සීමාව
ඉතා සරල උදාහරණයක් මාර්ගයෙන් ඉහත පදවල තේරුම් වටහා ගැනීමට උත්සාහ කරමු.
1. කාඩ්පතේ ණය සීමාව රු. 50,000
2. ගෙවීම් කළ යුතු දිනය සෑම මසකම 26 වැනි දිනය
3. කාඩ්පත ලද දිනය ජනවාරි 01 වැනි දින මේ කාඩ්පත ඔබගේ බැංකුව අමතා සක්‍රිය කරගත යුතුය. එයත් ජනවාරි 01 වැනි දිනට කරගත්තේ නම් එතැන් සිට කාඩ්පත භාවිත කිරීමේ හැකියාව ඔබට පවතී. ඔබ කාඩ්පතින් රු. 10,000ක භාණ්ඩයක් මිලදී ගනියි. ඒ දිනය ජනවාරි 2 යැයි සිතමු. මේ අනුව ජනවාරි 02 වැනි දින වනවිට කාඩ්පතට අදාළව ඇති ශේෂය රු. 40,000 බැංකුවට ගෙවිය යුතු මුදල රු. 10,000කි. ඔබගේ බිල්පත ගෙවන දිනය ජනවාරි 26 නම් දළ වශයෙන් ඊට සති තුනකට පෙර බිල්ගත වීම සිදුවිය යුතුය.
මේ අනුව කාඩ්පතේ බිල්ගත වීම සිදුවන්නේ ජනවාරි 05 වැනිදාය. ඔබ මිලදී ගෙන තිබූ රු. 10,000ක භාණ්ඩය අදාළ බිලට එකතු වෙයි. මේ අනුව බිල රු. 10,000කි. මීට අමතරව පළමු වර්ෂයට අදාළ වාර්ෂික ගාස්තු හා ඇතුළත් වීමේ ගාස්තු (Annual fees and Joining fees) ගිණුමට එකතු වී තිබේ. මේ සියල්ල සමඟ මුළු බිල්පත රු. 13,000ක් යැයි සිතමු. සාමාන්‍යයෙන් කාඩ්පතේ මුළු බිල්පතෙන් 5%ක් ගෙවිය යුතු අවම මුදල ලෙස සටහන් වෙයි. මේ අනුව මේ කාඩ්පතේ ජනවාරි මස බිල්පත සඳහා ගෙවිය යුතු අවම මුදල රු. 650කි. ගෙවිය යුතු දිනය ජනවාරි 26 වැනිදාය. මෙහි තේරුම නම් ජනවාරි 26 දිනට පෙර රු. 13,000 (මුළු මුදල) ගෙව්වහොත් කිසිදු පොලියක් අය නොවේ. අවම වශයෙන් රු. 650ක් ගෙව්වහොත් පොලිය අය වුවත් දඩ මුදල් අය නොවේ. ජනවාරි 26ට පසු ගෙව්වහොත් පොලිය සහ දඩ මුදල් එකතු වෙයි. මේ සියල්ල කාඩ්පත නිකුත් කර ඇති බැංකුව අනුව මඳ වශයෙන් වෙනස් වීමට ඉඩ ඇත. සමහර බැංකු දඩ මුදල් අය නොකරයි. අමතර ගාස්තු අය නොකරයි.
ඉහත උදාහරණයට අනුව කාඩ්පතින් කරන ලද මිලදී ගැනීම වූ රු. 10,000කට ලැබී ඇති පොලී රහිත කාලය ගණනය කරමු. ගනුදෙනුව සිදුකරන්නේ ජනවාරි 2 වැනිදාය. ගෙවීම් සිදුකළ යුත්තේ ජනවාරි 26 වැනිදාය. ඒ අනුව ලැබී ඇති පොලී රහිත කාලය දින 24කි. එම ගනුදෙනුවම ජනවාරි 5 වැනි දින සිදුකළා නම් ලැබෙන පොලී රහිත කාලය දින 21කි. ඒ මේ කාඩ්පතට ලැබෙන අවම පොලී රහිත කාලයයි. එම ගනුදෙනුව ජනවාරි 6 වැනි දින සිදුකළා යැයි සිතමු.
එවිට ඒ මුදල ජනවාරි මස බිල්පතට ඇතුළත් නොවේ. එය අදාළ වන්නේ ඊළඟ මස බිල්පත වූ පෙබරවාරි මස 5 වැනි දින පිළියෙල වන බිල්පතටයි. ඒ මුදල ගෙවිය යුතු වන්නේ පෙබරවාරි 26 වැනිදාටයි. එසේ බැලුවහොත් ඔහුට ලැබෙන පොලී රහිත කාලය දින 51කි. මේ ඔහුට ලැබෙන උපරිම පොලී රහිත කාල සීමාවයි.
අප ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීමේදී මේ ගණනය කිරීම සිදුවන ආකාරය දැනගත යුතුය. කාඩ්පතින් උපරිම ප්‍රතිලාභ ලබාගෙන අඩුම වියදමකින් කාඩ්පත පවත්වාගෙන යෑමට මේ අනුව ඉවහල් වේ.
මෙම ලිපියේ ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබද මුලික විස්තර විතරයි සදහන් කර ඇත්තේ. කොහොමද පොලිය, දඩ මුදල් එකතුවෙන්නේ, ඔබ ගෙවිය යුතු අවම මුදල, මාසික ගෙවීම අතපසු වුනොත්, බිල්ගත වන දිනය කවදාද, අවම මුදල ගෙවිය යුතු දිනය කවදාද ඒවගේ ඔබ දැනගත යුතුම කරුණු සහ විසදුම් ක්‍රම ටික දැනගන්න ඊළඟ ලිපිය අනිවාර්යෙන්ම කියවන්න