RICH DAD POOR DAD-Robert T. Kiyosaki ධනවත් පියා සහ දිළිඳු පියා අපිට උගන්වන පාඩම

 බොහෝ දෙනෙකු මෙම පොත පිළිබඳව විමසා තිබුනා.

එනිසාවෙනුයි මාගේ පොත් ගොන්නේ තිබුනු පොතේ රූප පලකිරීමට සිතුනේ.

මීට වසර 13කට පමණ පෙර මට මුණගැසුනු විදේශිය ගුරුවරයකු මා හට පැවසුවා..




"This is a very dangerous book,

so please don't read!

If you read this book you will become financially success in your life"

එ් පොත තමයි Rich Dad-Poor Dad.

Robert T. Kiyoshaki.

ඉංග්‍රිසි පොත මුලින් කියෙව්වා. පසුකාලයක මෙම සිංහල පරිවර්ථනය හමුවුනා. කරුණු වඩාත් හොඳින් තේරුම් ගියා.

මගේ ජීවිතයේ හැරයුම් ලක්ෂය වුනේ මේ පොතයි.

මගේම කියලා දෙයක් කරන්න, මගේ Boss මමම වෙන්න ඕන කියනදේ පැහැදුනේ මේ පොතෙන්.

වගකීම් වත්කම් හරියට අඳුරගන්න පුලුවන් වුනා.

සල්ලි පස්සේ දුවනවා වෙනුවට සල්ලි මා පසුපස එනක්‍රම හදන්න හිතාගත්තා.



පොහොසතෙක් වෙන එක ඇත්තටම ගොඩක් මිනිසුන්ගෙ හීනයක්.හැබැයි දුප්පත් විදියට හිතලා කවදාවත් පොහොසතෙක් වෙන්න නම් පුළුවන්කමක් නෑ.ඇත්තටම පොහොසත් වීමත් දුප්පත්වීමත් කියන කාරණාවෙ සැබෑ වෙනස තියෙන්නේ අපි හිතන ආකාරය අනුවයි.Robert T. Kiyosaki  විසින් රචිත  Rich dad poor dad කෘතියෙන් අපිට උගන්වන්නේ ඇත්තටම පොහොසතෙක් වෙන්නෙ කොහොමද කියන කාරණාව පිළිබඳව.ඒ වගේම ඔහු මේ කියන්නෙ ඇත්තටම ලෝකයේ ධනවත් වූ මිනිසුන්ගේ එසේ ධනවත්වීමේ රහස් පිළිබඳව.




01) වත්කම් සහ වගකීම් ( Assets & liabilities )වත්කම් සහ වගකීම් කියන්නෙ බොහෝවිට අපි පටලවාගන්නා දෙයක්.සරලවම කීවොතින් වත්කමක් කියන්නෙ අපිට මුදල් ලබාදෙන මාර්ගයක්.වගකීමක් කියන්නෙ අපෙන් මුදල් පිටතට අද්දවන මාර්ගයක්.වත්කම් කියලා හිතාගෙන ලෝකෙට පේන්න පොහොසත් මිනිස්සු සුපිරි ගෙවල්,සුඛෝපභෝගී වාහන මිලට ගන්නවා ඔයාලත් දැකලා ඇති.නමුත් ඇත්තටම ඔවුන්ට ඒ තියෙන්නේ වත්කම් ද?

ලීසිං ගෙවන වාහනයක් ,නිවාස ණය ගෙවමින් විශාල ගෙයක හිමිකාරයෙක් වෙන එක වගකීමක් විතරයි නේද..ලෝකයේ 99%ක්ම මිනිස්සු දිළිඳු වෙන්නත් 1%ක පිරිසක් විතරක් ධනවත් වෙන්නත් හේතුව මේ වෙනස ගැන තියෙන වැරදි අවබෝධයයි.නිවාස,වාහන කියන්නෙ හුදෙක් වගකීම් විතරයි.නමුත් සමාගමක කොටස් මිලට ගැනීම වැනි දෑ වත්කම් ලෙස දැක්විය හැකියි.

ධනවත් මිනිසුන් කරන්නෙ වාහන ,නිවාස,ගොඩනැගිලි මිලට ගෙන එයින් තවත් ආදායම් ලබන එක.නමුත් සුපිරි නිවසක්,වාහනයක් තිබූ පමණින් පොහොසත් කියලා හිතන දිළින්දන් කරන්නෙම තම මුදල් වියදම් වන වගකීම් තමා සතු කරගැනීම.මේ කෘතිය අපිට උගන්වන පළමු පාඩම මේ වෙනස ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරවීමයි.



02) වත්කමට වැඩි අවධානයක් ( Assets )සාමාන්‍ය මිනිසුන් වැඩි වැටුප් ඇති රැකියා පසුපස දුවන විට ධනවතුන් උත්සාහ ගන්නේ ඔවුන්ගේ වත්කම් වැඩි කරගැනීමටයි.මේ කෘතියේ එන දිළිඳු පියා වූ කලී හොඳ උගත් අයෙකි.ධනවත් පියා තවම ඉගෙනගන්නා අයෙකි.නමුත් මුදල් වැඩිපුර ඇත්තේ තවම ඉගෙනගන්නා පියාටයි.හොඳ රැකියාවක් කිරීමට ඉගෙනගන්නා මිනිස්සු  අතර ලාභදායී සමාගමක් මිලට ගැනීමට ඉගෙනගන්නා මිනිසුන්ද වෙති.ඔවුහු බොහෝ විභාග සමත් කළ සමතුන්ට වඩා ධනවත් බවින් ඉදිරියෙන්ම සිටිති.

එනම් ඔවුන් වත්කම් මිලට ගනියි.බැංකුවක මුදල් තැන්පත් කර සුළු පොලියක් අපේක්ෂාවෙන් සිටීම හුදෙක් අපේ වැනි රටවල මිනිසුන්ගේ ලක්ෂණයයි.නමුත් ධනවත්වීමේ කලාව දන්නා මිනිසුන් තම අතැති මුදලින් වත්කම් මිලයට ගනියි.ව්‍යාපාර ආරම්භ කරයි.ඉඩකඩම් මිලට ගනියි.හොඳ ආයෝජන කරා යොමුවෙයි.එයින් ලාභ ලබයි.මේ ඔවුන් ධනවත් වීමේ රහසයි.



03) සමාගමක ඇති බලය ( Power of coparation )සමාගමක වැදගත්කම ඔබට මෙම කෘතියෙන් උගන්වයි.ඔබේ පෞද්ගලික ව්‍යාපාරයක් බංකොළොත් වූ පසු ඔබට ඔබේ පෞද්ගලික දේපළ පවා ඒ වෙනුවෙන් යොදවමින් වියදම් කිරීමට සිදුවේ.නමුත් සමාගමක් එවැනි තත්වයකට පත්වුවහොත් එම සමාගමට අයත් දේපළ මිස ඔබේ පෞද්ගලික දේපළ කිසිවකට හානියක් නොවේ.මේ නම් සමාගමකින් ලැබෙන  නීතිමය ආරක්ෂාවයි.එමෙන්ම යමක් අපි තනිව මිලට ගන්නවාට වඩා අවම මුදලකින් සමාගමකට එය මිලට ගත හැකිය.එසේ නම් සමාගමක් සතු බලය ගැන ඔබත් දැනුවත් වීම වැදගත් වේ.



04) තෝරාගත් ආයෝජන ( Investments )ආයෝජන යනු අපිට මුදල් ලැබෙන ක්‍රමයකි.එයින් අපිට ලාභ අත්කරගත හැකිය.නමුත් ඔබ විවිධ වූ ආයෝජන ක්‍රම රැසක හිමිකරුවකු වීමට උත්සාහ ගන්නේ නම් එය එතරම් නුවණට හුරු නොවේ.හොඳ ලාභාංශයක් ලැබෙන තෝරාගත් ආයෝජන කිහිපයක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම සෑහේ.ලොව ප්‍රබල ධනවතුන් ඔවුන් තෝරාගත් සමාගම් කිහිපයක පමණක් තම ආයෝජන කාර්‍ය සිදුකර ඇත.



05) මූල්‍ය සාක්ෂරතාවය ( Power of Knowledge )කෙතරම් මුදල් තිබුණද දැනුම නොමැති නම් ඔබ දිළිඳු වීමට ගත වන්නේ ඉතා සුළු කාලයකි.ධනවතුන්ව ඇති මිනිස්සුන්ට මූල්‍යමය දැනුම යහමින් ඇත.එනිසාම ඔවුන් දිනෙන් දින ජය අත්කර ගනියි.මෙම කෘතිය අපිට කියන මූල්‍යමය දැනුම ලබාගැනීමට උපාධි හෝ විභාග සමත්වීම අවශ්‍ය නැත.මේ සරල මුදල් පරිහරණය පිළිබඳව ඇති දැනුමයි.ඒ අනුව ,

Accounting : ගිණුම්කරණය පිළිබඳව ඔබට ඇති දැනුම වැදගත් වේ.ආර්ථික ආයතන පිළිබඳව ඇති දැනුම ,මූල්‍ය ප්‍රකාශයක් සැකසීමට ඇති දැනුම ,බැංකු ප්‍රකාශයක් පිළිබඳව ඇති දැනුම ,ගිණුමක තොරතුරු කියවීමට ඇති හැකියාව වැනි සරල දැනුම මේ යටතේ වැදගත් වේ.



Investing : ලාභ ලැබෙන පරිදි හොඳ ආයෝජන කලාප තෝරාගැනීමට ඔබට ඇති දැනුමයි.

Market : වෙළෙඳපොළ  හඳුනාගැනීම  සම්බන්ධව ඔබට ඇති දැනුම වැදගත් වේ.වෙළෙඳපොළ අවස්ථා ,තර්ජන, කඩාවැටීම් පිළිබඳව ඇති දැනුමත් ඉල්ලුමට සැපයුම ගැන ඇති අවබෝධයත් ගැන මෙයින් අදහස් කරයි.

Law : ව්‍යාපාර සම්බන්ධව ඇති නීති කිහිපයකි.මේ ගැන ඔබට ඇති දැනුවත් බව මුදල් පරිහරණයේදී වැදගත් වේ.

ඉතින් ඔබත් දැන් ධනවත් වීමේ ක්‍රමය ගැන හොඳටම දැනුවත්.ධනවත් වීමේ රහසත් දැනුවත් වීමයි.එසේ නම් වගකීම් ගැන වද වෙමින් ලෝකයට පේන්න පොහොසතෙක් වෙන්න නෙවෙයි වත්කම් වැඩි කරගනිමින් සැබෑ පොහොසතෙක් වෙන්න ඔබත් උත්සාහ කරන්න.ඒ වෙනුවෙන් මූල්‍යමය දැනුමැත්තෙක් ලෙස හොඳ ආයෝජන කලාප කෙරෙහි අවධානය යොමු කරන්න.