ඉඩමක් මිලට ගැනීමේදී සැලකිය යුතු කරුණු

 ඉඩමක් මිලට ගැනීමේදී එම ඉඩම පෞද්ගලික ඉඩම් හිමියෙකුට හෝ ඉඩම් හිමියන් කිහිප දෙනෙකුට හවුලේ හිමි වී තිබිය හැක. නොඑසේ නම් ඉඩම් විකුණන සමාගමක් (Land Sale) වෙත හිමි වී තිබිය හැක.


මේ කවර අයෙකුගෙන් ඉඩමක් මිලදී ගත්තද ඉඩම ලියාපදිංචි වී ඇත්තේ විකුණන අයගේ/ සමාගමේ නමටද, වෙනත් අයෙකුගේ නමටද, යන්න පිලිබඳව සොයා බැලිය යුතුය.


ඇතැම් විට ලක්ෂ ගණන් වැයකර ඉඩම් මිලයට ගන්නා අය සුළු මුදලක් වැයකර ඉඩම් අයිතිය නිරවුල් බව තහවුරු කර ගැනීම සඳහා ලේඛන පරීක්ෂා කිරීමට ඉදිරිපත් නොවීමෙන් පසුව නෙයෙකුත් දුෂ්කරතා වලට මුහුණපානු ලැබේ. එම නිසා දේපලක් මිලදී ගැනීමට පෙර නීතීඥවරයෙකු මගින් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඇති ඉඩමට අදාල පත්ඉරු පරීක්ෂාවක් කල යුතුයි. එහිදී ඉඩමේ වර්තමාන හිමිකරු කවුරුන්ද යන්න සේම අවුරුදු 30 ක් ආපස්සට (පසුපස්සට)  හිමිකම් පරීක්ෂා කිරීමෙන් නිරවුල් ඉඩමක්ද යන්න සැක හැර දැනගත හැකිය.


එසේම ඉඩමට අදාල ව නිසි ලෙස ලියාපදිංචි වූ නිවැරදි සීමා මායිම් දක්වා ඇති පිඹුරක් (Plan) තිබේ දැයි සොයා බැලිය යුතුය.


එසේම පහත සඳහන් තොරතුරු ලේඛන මගින් පරීක්ෂා කිරීම ඉතා වැදගත් වන අතර ඉඩමට අදාලව බැංකු ණයක් ලබා ගැනීමේදීද මේ ලේඛන අත්‍යවශ්‍ය වේ.


අවසානයට ලියා ඇති ඔප්පුවේ පිටපතක් අදාල විකිණුම්කරුගෙන් ඉල්ලා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ සිදුකරන පරීක්ෂාවක් මඟින් මේ සියල්ල සොයා බැලිය හැකි අතර නීතීඥවරයෙකු මගින් ඒ ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරීමෙන් ගැණුම්කරුට නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.


මෙහිදී පහත සඳහන් ලේඛනද අදාල ඉඩම් විකිණීමේ සමාගමෙන් ඉල්ලා සිටීමේ අයිතියද ඔබ සතු වේ.


මාර්ග රේඛා සහතිකය (Street Line Certificate)

එනම් අදාල දේපලෙන් කොටසක් මාර්ගයක් සඳහා ලකුණු කොට නොමැති බැවින් දේපල හරහා මාර්ගයක් තැනීමට පලාත් පාලන ආයතනය කටයුතු නොකරන බව සහතික කරන ලියවිල්ලකි. අදාල දේපල සම්බන්ධයෙන් මාර්ගයක් තැනීමට කොටස් වෙන් කර තිබුණහොත් අදාල දේපල මිලදී ගන්නා තැනැත්තාට එම මාර්ගය සඳහා වෙන් කර ඇති බිම් තීරයට හිමිකමක් නොලැබේ. වීථි රේඛා සඳහා වෙන් කර ඇත්නම් එම කොටස් පවරා ගන්නා තෙක් භුක්ති විඳිය හැකි වුවත් එහි ස්ථිර ගොඩනැඟිලි තැනීමට පලාත් පාලන ආයතනය ඉඩ දෙනු නොලැබේ.


අධිෂ්ඨාපන සහතිකය

යම් දේපලක් යම්කිසි හේතුවක් සම්බන්ධයෙන් පලාත් පාලන ආයතන මඟින් අත්පත් කරගෙන නැතැයි තහවුරු කිරීමේ ලියවිල්ලයි.


වරිපනම් බදු හා අංක

කිසියම් අවස්ථාවක දේපලක් විකිණීම, ත්‍යාග දීම හෝ පැවරීමක් සිදු වුව හොත් නව අයිතිකරුගේ නම වරිපනම් බදු ලේඛනයට ඇතුලත් කල යුතුය.


නොපැවරීමේ සහතිකය (Non Westing Certificate)

වරිපනම් බදු නොගෙවීම නිසා හෝ සංවර්ධනය නොකිරීම, බදු නොගෙවීම නිසා යම් පලාත් පාලන ආයතනයක් විසින් අදාල ඉඩම පවරා ගෙන තිබේද, යන්න පරීක්ෂා කල යුතුය. එසේ කිසියම් හිඟ මුදලක් වේ නම් එම ගාස්තුව පලාත් පාලන අායතනයට ගෙවීමෙන් අනතුරුව නොපවරා ගැනීමේ සහතිකය ලබා ගත හැකිය. එකී දේපල සඳහා ණය ලබා ගැනීමේදී විශේෂයෙන් මේ සහතිකය ලබා ගත යුතුය.


පදිංචි වීමේ සහතිකය (Certificate of Confirmity)

කිසියම් දේපලක නිවසක් ඉදිකල විට එකී නිවසේ පදිංචි වීම සඳහා පලාත් පාලන ආයතනය විසින් නිකුත් කරනු ලබන සහතිකයයි.


එනම් යම් ගොඩනැඟිල්ලක් පදිංචිය සඳහා සුදුසුද යන්න තහවුරු කිරීමයි. මෙය යෝග්‍යතා සහතිකය, අනුකූලතා සහතිකය ලෙසද හඳුන්වයි. ගොඩනැඟිල්ල පලාත් පාලන ආයතනයෙන් අනුමත අදාල සැලැස්ම අනුව සකස් කර තිබිය යුතුය. හිරු එලිය, වාතාශ්‍ර‍ය ප්‍ර‍මාණවත් පරිදි ලැබීමට හැකි වන පරිදි එය සකස් කර තිබිය යුතුය.


බිම සකස් කර තිබීම, බිත්ති කපරාරු කර තිබීම, වහල සකස් කර තිබීම හා වැසිකිලි පහසුකම් මත මේ යෝග්‍යතා සහතික නිකුත් කරනු ලැබේ. පලාත් පාලන ආයතනය මගින් නිකුත් කරන යෝග්‍යතා සහතිකය නොමැතිව පදිංචි වීම නීතී විරෝධී වේ.


පත්ඉරු ලබා ගැනිම

යම් නිශ්චල දේපලක් සම්බන්ධයෙන් සිදුවන ගනුදෙනු සියල්ල ඒකී ඉඩම පිහිටි ප්‍රදේශයේ ඉඩම් ලියා පදිංචි කිරීමේ කාර්යාලයේ අදාල පත් ඉරුවේ ලියා පදිංචි කරන අතර එම දේපල සම්බන්ධයෙන් සිදු කරනු ලබන සියලු බැඳීම්, පැවරුම්, ගණුදෙණු ඒහි සඳහන් වේ. එම පත් ඉරුවට සියළු බැඳීම්, කොන්දේසි ඇතුලත්ව ඇති හෙයින් එමඟින් තමන් මිලදී ගැනීමට අදහස් කරනු ලබන ඉඩම යම් බැඳීමකට යටත්ද, යන්න සොයා ගත හැක. ණය නිකුත් කිරීමේදී මේ පත් ඉරු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.


අදාල දේපලට,


නිදහස් නොකල උකස් හා බැඳුම්කර

තහනම් පූර්වතා දැන්වීම්, කේවියට්

ලිස්පෙන්ඩන්ස්

පලාත් පාලන ආයතන වලට ගෙවිය යුතු හිඟ බදු හා වරිපනම් තිබේදැයි සොයා බැලිය යුතුය.

තහනම්, පූර්වතා දැන්වීම්, කේවියට් එම තෙවන පක්ෂයේ කැමැත්ත පරිදි හෝ අධිකරණ නියෝග මඟින් ඉවත් කිරීමට පියවර ගත යුතුයි. බදු හා උකස් වලින් නිදහස්ව අදාල දේපල මිලදී ගත යුතුයි.


එම දේපල විකිණීමට අදාල දේපල විකිණුම් සමාගමට නෛතික හැකියාව ඇති බව පරීක්ෂා කොට තහවුරු කර ගත යුතුයි.


නෛතික හැකියාවක් නොමැතිව කරන පැවරීමක් අවලංගු විය හැකිය.


සමාගමක් කරන විකිණුමකදී එසේ කිරීමේ අවසරය සමාගම් ව්‍යවස්ථාවලිය හෝ විශේෂ යෝජනා සම්මතයකින් දෙන ලද්දේද යන්න සොයා බැලිය යුතුය.


එනම් සමාගමක් ඉඩම් විකුණන විට ඔවුන්ගේ නෛතික පුද්ගල නාමයෙන් එම විකිණීම සිදු කල යුතු බැවින්  නිසිපරිදි ලියාපදිංචි වූ සමාගමක්ද, එය සමාගමක් ලෙස ලියාපදිංචි කරන ලද අංකය කුමක්ද යන්න පරීක්ෂා කල යුතු අතර විකුණුම්කාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙදෙනෙකු ඔවුන්ගේ නිල මුද්‍රා සහිතව ඔප්පුවට අත්සන් තැබිය යුතුය.


එමෙන්ම ඕනෑම මිලදී ගැනීමක් සිදු කරන විට අදාල ඔප්පුවට අත්සන් තැබීමට පෙර එය හොඳින් කියවා අත්සන් කිරීම කල යුතුය.


ඒමෙන්ම ඉඩම් විකිණුම් සමාගම් ඉඩමේ වටිනාකමින් කොටසක් ගෙවූ විට පදිංචි වීමේ අවස්ථාව ගැණුම්කරුට සලසා දෙයි. එහිදී සාමාන්‍යයෙන් විකිණුම් ගිවිසුමක් දෙපාර්ශවය එකඟ වී අත්සන් තබා සකසනු ලැබේ.  එම අවස්ථාවේදී ගැණුම්කරුට අවාසි සහගත කාෙන්දේසි, මාසික පොලී අනුපාත ආදිය යෙදිය හැකි බැවින් එම ගිවිසුමට එකඟ වීමට පෙර හොඳින් කියවා බලා අත්සන් කල යුතුය.


ඇතැම් ගණුදෙණු කරුවන් ඉහත ආකාරයේ හිමිකම් පරීක්ෂා නොකර පදිංචිය ලබා දීම යන කරුණ ගැන පමණක් සිතා බලා ගිවිසුම් වලට අත්සන් තැබීම හේතුවෙන් පසුව නොයෙකුත් දුෂ්කරතා වලට මුහුණ දෙනු දක්නට ලැබේ.



නීතීඥ සජීවනී අබේකෝන්


කොලඹ විශ්ව විද්‍යාලය, නීති නිලධාරිනී, නීති ආධාර කොමිසන් සභාව


 


උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත